25/01/2024
"ජනතාව යළි හොරුන්ට දූෂිතයන්ට රැවටෙන්නේ නෑ"
“හොරෙක් වුණත් කමක් නැහැ - මට කීයක් හරි දෙනවා නම්” කියලා මිනිස්සු එදා කල්පනා කළාට අද ඒ තත්ත්වය වෙනස්” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ පුත්තලම ආසන සමුළුව අමතමින් පවසයි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය. පුත්තලම දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේම නියෝජිතයෙක් ලෙස අලි සබි්‍ර රහීම්ව පාර්ලිමේන්තුවට තෝරා යැව්වා. එවැනි අය පුත්තලම දිස්ත්‍රික්කයෙන් යැවීමට ඡන්දය දුන් ඔබ, ඔබේ ඡන්දය ගැන ආඩම්බර වෙනවාද? මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේ මන්ත්‍රි කෙනෙක්
කියලා පාර්ලිමේන්තු යැවූ අලි සබි්‍ර රහීම් තමන්ගේ මන්ත්‍රි වරප්‍රසාද උපයෝගි කරගෙන රත්රන් ජාවාරම් කරලා අහුවුණා. නමුත් පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් නීති හදන්නත් අත ඉස්සුවා. ඊයේ නීති කඩලා එයාර්පෝර්ට් එකේදී අහුවුණු කෙනා අද නීති හදන්න පාර්ලිමේන්තුවේදී අත උස්සනවා. මේ සමාජය, ආර්ථිකය, නීතිය විතරක් නොවෙයි කඩා වැටිලා තිබෙන්නේ. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප ඇතුළු මුළු සමාජ දේහයම කඩා වැටිලා. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණයේ වැරදිකරු වූ ප්‍රේමලාල් ජයසේකර රත්නපුරයෙන් අංක එකට එවනවා. ගම්පහෙන් ප්‍රසන්න රණතුංග එවනවා. කළුතරින් රෝහිත අබේගුණවර්ධන එවනවා. මහනුවරින් මහින්දානන්ද එවනවා. කුරුණෑගලින් ජොන්ස්ටන් එවනවා.
අනුරාධපුරෙන් එස්.එම්. චන්ද්‍රසේන එවනවා. මිනිස්සු හිතන පතන විදිහ කඩා වැටී තිබෙන ආකාරය මේ තුළින් පැහැදිලියි. “හොරෙක් වුණත් කමක් නැහැ, මට කීයක් හරි දෙනවා නම්” කියලා මිනිස්සු කල්පනා කළා. එහෙම හිතලා රටක් හදන්න බැහැ. ඒ නිසා රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ. දේශපාලනය පිරිසුදු වී මිනිසුන් මීට වඩා ගුණයහපත් අනෙකා ගැන කල්පනා කරන අය බවට පත්වෙන්න ඕනෑ. බුදු ධර්මය, ක්‍රිස්තු ධර්මය, ඉස්ලාම් ධර්මය, හින්දු ධර්මය සහිත ප්‍රධාන ආගම් හතරක්් මේ සමාජයේ තිබෙනවා.
මේ සියලු ආගම්වලින් අනෙකාට මෛත්‍රිය දක්වන්නත්, ආදරය කරන්න, සහෝදරත්වය පළ කරන්න, දේශනා කර තිබුණත් ඒ ආගම් අදහන පුරවැසියන්, හොරුන්ව පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා දැන් දේශපාලනයේ විතරක් නොවෙයි සමාජයේත් ප්‍රශ්නයක් තිබෙනවා. නාරම්මලදී රියැදුරකුට වෙඩි තැබූ පොලිස් නිලධාරියා “මූ මැරිලාද දන්නේ නෑ” කියලා කියනවා. වෙඩි පහරට ලක්වුණේ මිනිහෙක් නොවෙයිද? කම්පනයක් තිබෙනවාද? රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ.
අපි පෙනී සිටින්නේ ඒ පුළුල් සමාජ, ආර්ථික, දේශපාලනික මැදිහත්වීම වෙනුවෙන්. ඒ පරිවර්තනය වෙනුවෙන් ජනතාව අවදිකරන, ජනතාව පෙළගස්වන ජාතික ජන බලවේගයේ දේශපාලන කඳවුර එක පැත්තක සිටිනවා. අනෙක් පැත්තේ ජනතාව පීඩාවට පත් කළ, ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති කළ ජනතාව යාචකයන් බවට පත්කළ, බෙදන දේශපාලනය ක්‍රියාත්මක කරන, මහජනයාගේ ධනය සොරකම් කරන, දේශපාලනය තිබෙනවා. මේ රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගයයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකට එකතු වී මේ චෞර පාලනය පලවාහැරිය යුතුයි. මේ රට විනාශ කළ පාලකයන්ට එරෙහිව අපි හැමෝම එකට එකතු වෙන්න ඕනෑ. විශේෂයෙන්ම පුත්තලම
දිස්ත්‍රික්කයේ සහෝදර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි එකට එක්වී ගැම්මක් අරගෙන පෙරට එන ලෙසයි. අන් සියලුදෙනා වගේම දේශපාලනඥයන් තමන්ගේ වැඩකොටස නිවැරදිව ඉටු කරන රට නව පරිවර්තනයකට ගෙනයෑමේ පුනරුද යුගයක් ආරම්භ කරන්න ඕනෑ. මහ මැතිවරණයක් වුණත්, ජනාධිපතිවරණයක් වුණත් මුලින් එන ඕනෑම ඡන්දයකදී ජාතික ජන බලවේගයේ පාලන බලයක් වෙනුවෙන් සියලුම ජනතාවට පෙළගැසෙන ලෙස ආරාධනා කරනවා.
ජාතික විධායක කමිටු සාමාජික, ජේයෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න
පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධනය වගේම ජාතික සංවර්ධනය සඳහා ලබාදිය හැකි දායකත්වය පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කොට තිබෙනවා. මේ ආසන්නයේ තිබෙන කළපුව ඩොලර් ආකරයක්.
මේ කළපුව හරියට කළමනාකරණය කර ගන්න මේ රටේ පාලකයන්ට වුවමනාවක් තිබී නැහැ. මාලිමාව ආණ්ඩුවක් යටතේ මේ කළපුව ඩොලර් උත්පාදනය කරන ස්ථානයක් විදිහට වැඩපිළිවෙළක් අපි සකස් කොට තිබෙනවා.
මාලිමාවේ ආණ්ඩුවකින් මේ නිෂ්පාදන මාර්ග සියල්ල විවෘත කරලා නිෂ්පාදන මාර්ගවලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අපි යෝජනා කර තිබෙන වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟිය යුතුව තිබෙනවා.
ජාතික විධායක සභික,
මහාචාර්ය වසන්තා සුබසිංහ
මේ දුෂ්ට පාලකයෝ උන්ගෙ හීන ඔක්කෝම මරල දාලා. දරුවන්ගේ ජීවිතය උදුරාගෙන ඉවරයි. වැට් බද්ද 8%යි. 12%යි. 15%යි. 18% දක්වා වැඩි කළා. ඔෟෂධවලට හා පාසල් උපකරණවලට අලුතෙන්ම 18%ක බද්දක් ගැහුවා. ගේ ඇතුළේ අම්මා, තාත්තා, දරුවන් පමණක් නොවෙයි. මේ අපහසුවට අසුවුණු, අතරමං වුණු විශාල පිරිසක් පාරවල්වල ඉන්නවා. මෙවැනි ආණ්ඩු මොකටද? ආණ්ඩුවක් සැමට සාධාරණ වෙන්න ඕනෙ.
ජාතික විධායක සභික මොරටුව ආසන සංවිධායක නීතිඥ හර්ෂණ නානායක්කාර
අපේ රටේ ඉන්නවා පවුල් ලක්ෂ 55ක්. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තා අනුව හතරදෙනෙක් සිටින ගෙවල්වලින් 40%කට ලැබෙන ආදායම රු. 27,000ට වඩා අඩුයි. පහළම ඉන්නම 20%කට ලැබෙන්නේ රු. 17,000කට අඩු ප්‍රමාණයක්. රටට වැඩියෙන්ම ඩොලර් ගෙනත් දෙන, තේ දලු නෙළන කාන්තාවන් හතර දෙනෙක් සිටින පවුලකට රු. 41,000ට අඩු ප්‍රමාණයක්. මේ මුදලින් ජීවත් වෙන්න පුළුවන්ද? හතර දෙනෙක් සිටින පවුලකට පෝෂණීය ආහාර අරගෙන ජීවත්වෙන්න ලක්ෂයක මුදලක් මාසයකට අවශ්‍ය වෙනවා.
අපේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා. පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය නතර කිරීම හොඳ දෙයක්. ඒ සම්බන්ධයෙන් වන නීත්‍යනුකූල ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගයේ සහයෝගය තිබෙනවා. තව දෙයක් කියන්නම්, කන් හැන්දෙන් කුඩු බොන මිනිහාව අල්ලාගෙන, කිලෝ ගණන් ගෙන්වන මිනිහාව අතහැරලා. ඒක නවත්වන්න බැහැ.
ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්
මෙතෙක් රට පාලනය කළ හොරු ජනතාව බෙදන කොට අපිට මේ රට හදන්න පුළුවන්. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ බලය ඒකරාශි කරනවා. මේ දිස්ත්‍රික්කයේ අනෙක් පක්ෂවල නායකයන් කුඩුකාරයන්ව, මංකොල්ලකාරයන්ව, හොරුන්ව තෝරා ගන්න අතර ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙන්නේ මේ දිස්ත්‍රික්කයට ආදරය කරන මහාචාර්ය චන්දන අබේරත්න වැනි විද්වතුන් බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්.
- අනුරාධා හේරත් (මව්බිම)