15/07/2026
ආජන්ටිනාවටයි, එංගලන්තයටයි තියෙන්නේ මහ කචල් ලෝක කුසලාන ඉතිහාස කතාවක්.
1966 ඒ කියන්නේ එංගලන්තය මුල්ම සහ එකම වතාවට ලෝක කුසලානය දිනපු අවුරුද්ද. ඒ ලෝක් කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී තමයි එංගලන්තයයි, ආජන්ටිනාවයි මුලින්ම මුණ ගැහෙන්නේ.
ඒ තරගයේ දී එංගලන්තය පැත්තෙන් ආජන්ටිනාව ගැන විග්‍රහ කලේ සත්තු ටිකක් කියලා. හැබැයි තරගය එංගලන්තය දිනුවා, අවසානයේ ලෝක කුසලානයත් දිනුවා.
ඊළඟට මුණ ගැහෙන 1986 දී මැරඩෝනා තමන්ගේ ජීවිතේ ගහපු හොඳම ගෝල වලින් එක ගෝලයකුයි, දෙවියන්ගේ අත පාවිච්චි කරළා තව ගෝලයකුයි වාර්තා කළා. ඒකත් ඉතිහාසගත අර්ධ අවසන් පූර්ව තරගයක්. ඒ තරගය ආජන්ටිනාව දිනුවා, ලෝක කුසලානයත් දිනුවා.
ආයෙත් මේ දෙගොල්ලෝ මුණ ගැහෙන්නේ 1998 දී. මේ තරගය එංගලන්තය පරාද වුනේ දඬුවම් පහර වලින්. ඒ තරගයේ 48 මිනිත්තුවේ දී David Beckhamට ලැබෙනවා Red Card එකක්. එංගලන්තය තරගය පරාද වෙන්න ඒක ලොකු හේතුවක් බව අමුතුවෙන් කියන්න ඕනත් නැහැ නේ. ඒ වෙලාවේ Beckham විසින් ආජන්ටිනා ක්‍රීඩක Diego Simeonව බිම ඇද දානවා. ඒකට තමයි Red Card එක ලැබෙන්නේ.
මේ සිදුවීම නිසා Beckham සෑහෙන්න දරුණු විදිහේ විවේචනවලට ලක් වෙනවා. "වීර සිංහයන් දස දෙනෙක් සහ එක මෝඩ කොල්ලෙක්" විදිහට තමයි එදා තරගය පරාද වුන පුවත එංගලන්තයේ එක පුවත්පතක පළ වෙන්නේ. මේ පහර දීම් බෙකම්ව මානසිකව සෑහෙන්න පහතට වට්ටනවා.
"මම මෝඩ වරදක් කළා, ඒක මගේ ජීවිතය වෙනස් කළා. මුළු රටම මට වෛර කරන්න පටන් ගත්තා. යම් මතක මකා දැමිය හැකි Pill එකක් තිබුණා නම් කියලා මම හිතුවා."
තමන් යන හැම තැනක දීම Bully වීම නිසා කාලයක් යද්දී බෙකම් විශාල වශයෙන් මානසික පීඩනයට ලක්වෙනවා.
"මහජන විරෝදය වෙනම ලෙවල් එකක තිබුණේ. ඔහු මානසික අවපීඩන තත්වයකට පත් වුනා."
බෙකම් ඒ විදිහට තමන්ගේ ජීවිතේ අමාරුම කාලය පහු කළා. ඊට අවුරුදු හතරකට පස්සේ බෙකම්ට සහ එංගලන්තයට ආයෙත් වතාවක් ආජන්ටිනාව මුණ ගැහෙනවා.
ඒ ලෝක කුසලාන ඉතිහාසයේ හතරවෙනි වතාව. එදා තරගය එංගලන්තය ගෝල 1-0ක් විදිහට ජයග්‍රහණය කළා. දෛවෝපගත විදිහට ඒ වාර්තා වුන එකම ගෝලයේ අයිතිරුවා වුනේ බෙකම්.
බෙකම් ඒ ගෝලය වාර්තා කළේ දඬුවම් පහරකින්. බෙකම් ඒ අවස්ථාව ගැනත් පස්සේ කාලෙක කියනවා.
"දඬුවම් පහර ලබා ගැනීම මට කවදාවත් අමාරු දෙයක් වුනේ නැහැ. ඒත් මේක වෙනස්. විනිසුරු තීරණය සහ දඬුවම් පහර ලබා ගැනීම අතරේ මිනිත්තු දෙකක විතර කාලයක් තිබුණා. ඒ වගේම ආජන්ටිනා රසිකයින් ඉදිරියේ ඒක තරමක් බියජනක අත්දැකීමක් වුනා. එක අවස්ථාවක මම හුස්ම ගැනීම නතර කරන්න ඉතාම ආසන්න අවස්ථාවකට ආවා."
බෙකම් තමන්ගේ අතීත මතක එක්ක බැඳුණු Trauma එක අත් විඳින්නේ ඒ විදිහට.
කොහොම හරි ඒ තමයි අවසාන වතාවට එංගලන්තය සහ ආජන්ටිනාව මුණ ගැහුණු අවස්ථාව.
අද 2026 දී ආයෙත් ආජන්ටිනාවයි - එංගලන්තයයි මුහුණට මුහුණ හැපෙන්න නියමිතයි. අද ක්‍රීඩා පිටියේ නැති වුනාට බෙකම් අනිවාර්‍යෙන්ම ප්‍රේක්ෂකාගාරයේ ඉඳීවී.
අවුරුදු 28කට ඉස්සර තමන්ට පීඩා දුන්න අතීතය අදත් බෙකම්ගේ ඇස් ඉස්සරහා මැවේවී කියලා මට හිතෙනවා. හැබැයි වාසනාවකට 2002 දී විඳපු සැනසීමත් බෙකම්ට ඒ එක්කම දැනේවී. මෙතන වැඩියෙන්ම වටින දේ තමයි බෙකම්ට ඒ සැනසීම විඳින්න ලැබීම. මොකද පාපන්දුවල වගේම ජීවිතේ ගොඩක් තැන්වලදිත් මිනිස්සු හොයන්නේ සහ නොලැබෙන්නේ ඒ සැනසීම.
**අද තමයි දවස** 16th of July 2026**
Minseyra Rent A Car Congratulations 🏴