05/09/2022
- 05/09/2022
අළුත් පාසල් වාරයක් සමග අටවන වසරට මුළ පුරන්න අද පුතු පාසල් යාමට පිටත්වුණේ වැහිබර කාළගුණයක් මැදයි. සීතලට පොරෝනාවකට ගුලිව නිදාගන්න හිත දුන්නත්, පුතුට පාසල් යායුතු දවස් වලින් එකක් වත් අහිමි කරන්න මට හිත දෙන්නෙ නෑ. මොකද වයසට ගියාම, මේ අපිට වගේ, ආයෙම කොච්චර ආස වුණත් ඉස්කෝලෙ යන්න බෑ නෙ.
ඒ නිසාම ඉතින් පාන්දරම නැගිට කඩිමුඩියේ උයා පිහාගත් මගේ උදෑසන කුස්සියේ විප්ලවය නම් අහවරයි.
අද පිළියෙළ කලේ පරිප්පුත් , හාල්මැස්සො කරවල තෙම්පරාදුවත් , ඊයෙ ගලවපු රාබු කොළ හින්දුමත්, පොල්සම්බෝලයකුත්.
පුතා නම් රාබු කෑමට වැඩි මනාපයක් නෑ. ඒ නිසාම සම්බෝලෙකුත් කෙටුවා.
" අම්මේ, මම ගෙදර ආවම රාබු කන්නම්.. ගෙනියන්න නම් බෙදන්න එපා."
කෙසෙල් කොළයකට එයා කැමති විදියට කෑම ටික බෙදා පෙට්ටියක අසුරා දුන්නේ, විසිකරනවාට වඩා කන ටික යවන එක හොද නිසාමයි.
පළමු දිනය නිසා මගේ බුළත් වැළෙන් බුළත් අතකුත් කඩලා පුතු අතේ තිබ්බෙ ගිහින් පාසලේ ගුරුතුමියට වදින්න කියායි.
"අයියෝ අම්මෙ.. අනිත් ළමයි වදින්නෙ නෑ නෙ.. මම වදිනකොට අනිත් අය හිනාවෙයිනෙ"
"මේ අහන්නකො වස්තුවෙ. වැඩිහිටියන්ට, ගුරුවරයෙක්ට බුළත් දීලා වදින එක වැරැද්දක්ද?"
(බිම බලාගෙන බෙරිකරගත් මූණින් ) "නෑ"
ඇයි අපි කෙනෙක්ට වදින්නෙ?
"ගෞරවයට"
"ඔව් පුතේ. ගෞරවයට වගේම ආශිර්වාද ගන්න. එහෙම නේද? දැන් ඔයා බුදුන් වැදලා අම්මා තාත්තටත් වැදලා යන්නෙ? ඒකටත් කව්රුවත් හිනාවෙනවාද?"
"නෑ. ඒක ඉතින් කව්රුවත් දකින්නෙ නෑ නෙ. හිනාවෙන්න."
"දැක්කත් ,කව්ද එහෙම හිනාවෙන්නෙ පුතේ? එහෙම හිනාවෙනවා නම් මානසික ලෙඩක්. ඔයා වැරැද්දක් නෙවෙයිනෙ කරන්නෙ. හරි දෙයක්නෙ.
කව්රු හිනාවුණත් තමා කරන හරි දෙය නොකර ඉන්න පැකිලෙන්න එපා. අනිත් අය කරන පලියට කරන්නන් වාලෙ වැරදි දේවල් කරන්න යන්නත් එපා.
මට මගේ පුතා අනිත් ළමයි වගේ වෙන්න කියලා නෙවෙයි නෙ මම හැමදාම කිව්වෙ නේද? හිතලා බලලා හරිදෙය කරන පුතෙක් නෙ වෙන්න කිවෙ නේද මගෙ වස්තුව?"
මොහොතක් කල්පනා කරමින් සිට ... "හ්ම්. අම්මා හරි.
කව්රු හිනාවුණත් අපිට මහන්සි වෙලා උගන්වන ගුරුවරුන්ට අපි බුළත් හුරුල්ලක් දීලා වදින්න ලැජ්ජා වෙන්න ඕනෙ නෑ. "
හිනා වුණොත් , හිනාවුණාවෙ. මම වදිනවා මගේ ටීචර්ට"
"හරියට හරි. ඔය තේරුනේ යස අගේට."
අද සමාජයේ දරුවන් තම අනාගතය ගොඩනැගීමට කරුණු කාරණා කියාදෙන ආදරණීය ගුරුවරයින්ට බුළත් හුරුල්ලක් දී වදින්න යොමුවනවා මෑතකදී මම දැක නෑ.
දැක්කත් දකින්නෙ පළමු වසර පන්තියෙදි පමණයි. ඉන් ඔබ්බට ඉන්නා ගුරුවරුන්ටද ඒ ආදරය ගෞරවය දැක්වීමට කියාදෙන්න. ඇතැම්විට අන් අය හිනාවේවි යන ආකල්පයෙන් ඔබේ දුවා පුතාත් මේ වගේ පැකිලෙනවා ඇති.
නමුත් වැරදි දේ, නිවැරදි කිරීමේ වගකීම, දෙමාපියන් වශයෙන් නිති අප සතුයි.