02/12/2024
ලින්නා මාළු තෙම්පරාදුව
මේ දවස්වල ලින්නා මාළු ලාබයිනෙ . ගෙනාපු වෙලාවක මේ විදිහටත් හදලා බලන්නකෝ .... බත් මුලට නියමයි ... 👍
අවශ්‍ය දේවල් 👇
▪️තරමක ලොකු ලින්නා කූරියෙක්
▪️බී ළුණු ගෙඩියක්
▪️තක්කාලි ගෙඩියක්
▪️අමුමිරිස් කරල් 2
▪️කරපිංචා ඉත්තක්
▪️සැර අනුව කෑලි ගම්මිරිස්
▪️රස අනුව ලුණු
සාදන ආකාරය 👇
▪️මුලින්ම මාළු කූරියව සුද්ද කර හොඳින් සෝදා පෙති කපාගෙන ඇතිලියට දාන්න . එයටම තලාගත් ගම්මිරිස් ටිකක් කහ පිංචක් , ලුණු හා ගොරකා බික් දෙකක් දාන්න . වතුර කෝප්ප 1/2 පමණ දාලා ලිපේ තියා තම්බන්න . වතුර ගොඩක් දාන්න එපා . තැම්බෙන කොට මාළු වලත් වතුර උනනවා . තෙත ගතිය හිඳෙන විට ලිප නිවා , මාළු පෙති ටික නිමෙන්න තියන්න .
▪️මාළු ටික තැම්බෙන අතරේ තක්කාලි ගෙඩිය තරමක් ලොකුවට කපා පැත්තකින් තියන්න . බී ළුණු ගෙඩිය රවුමට පෙති කපා භාජනයකට දාන්න . අමුමිරිස් ඇදේට කපා එයත් දාන්න . කරපිංචා , ලුණු ස්වල්පයක් , කහ පිංචක් , කෑලි ගම්මිරිස් කුඩු හා සියඹලා පේස්ට් චූට්ටක් දාලා තක්කාලි හැර මේ සියල්ලම හොඳින් කලවම් කර අතගාගන්න . තියෙනවා නම් මාළු මිරිස් කරලකුත් කපා දාන්න .
▪️දැන් තෙල් ටිකක් තාච්චියකට දාලා රත් වෙද්දී , මාළු පෙති කැඩෙන්නෙ නැති වෙන්න පරිස්සමට බදින්න . යන්තමට බැදුනානම් ඇති . මාළු ටික බැදගත් තාච්චියේ තෙල් වැඩිනම් ටිකක් අයින් කර නැවත තෙල් ටික රත් කරන්න . රත් වූ තෙලට අතගාගත් ළුණු මිශ්‍රණය දාලා තෙම්පරාදු කරන්න . යන්තමට තෙම්පරාදුවේගන එනවිට බැදගත් මාළු හා තක්කාලි දාලා කලවම් කර තත්පරයක් දෙකක් තියා ලිපෙන් බාගන්න .
ස්තූතියි !