23/07/2024
20 වන දිගහැරුම
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
©කතෲ අවසරයකින් තොරව මෙම කතාවෙ එන කිසිදු කොටසක් හෝ අවස්තාවක් ද කතාවෙ ගැබ්වී ඇති චරිත හෝ සිද්දි මාලාවන්ද උපුටා ලිවීම හෝ වෙනස් කොට ලියා පලකිරීම සපුරා තහනම්.
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
“හරි හරි දැං ඔය දෙඩවිල්ල නවත්තන්න.ගිහින් පොල් ටිකක් ගාලා තියන්න.මං එන්නං මාලුවක් හදන්න.”
මං අඩන බව දැනගෙනම වෙන්න ඇති අත්තම්මා මගෙ හිත හදන්න කියන්න ඇත්තෙ.මටත් ඕනවුනෙ එතනින් ඈත්වෙලා යන්න.
කුස්සියට ගිහින් ඉදුල් වලං ටික හෝදලා වලං මැස්සෙන් තියලා.ලිදට ගියෙ වතුර කලගෙඩියක් ගේන්න.අත්තම්මට කුස්සියට නාව නිසාම හාල් ටිකක් ලිපෙ තියලා අල හොද්දකුත් හැදුව. එක්කො අත්තම්මට ඕන මාව මගාරින්න. මම කීව කතාවට හිත රිදෝගෙන. එහෙමත් නැත්නං අත්තම්මට අමතක වෙලා ඇති මම කුස්සියට ආවා කියන්න. මේ දවස් ටිකට එයාට හිතන්න ගොඩක් දේවල් සිද්ද උනා. ඒ නිසාම අත්තම්මට ටිකක් තනියම ඉන්න ඕන වෙන්න ඇති. එයාටයි මටයි තේ දෙක්කුත් හදාගෙන සාලෙට යද්දි අත්තම්මට පුටුවෙම නින්ද ගිහින්.
ඒ වැහැරුන මූණ දිහා බලාගෙන හිටියෙ බොදවුන ඇස් වලින්.තව කොච්චර කාලයක් එයාලා මාත් එක්ක ඉදීද කියලා හිතෙද්දි පපුව හෝස්ගාලා යනවා.ඊයෙ පෙරේදා අත්තම්මට නින්දක් ඇත්තෙම නෑ.ඒ නිසාම වෙන්න ඇති මේ නිදිමත.ගිරෙ පුවක් ගෝනිය උඩටම අතෑරිලා.
ලෝබ හිතුනත් ඇහැරන්න මම හිමීට ලගට ගිහින් කතාකරා.ඒ ඇස් ඇරුනෙ කලබලෙන්.
“අහ්…චූටි දන්නෙම නැතුව නින්ද ගියා.”
පුටුවෙ හරිබරි ගැහුනෙ අතෑරිලා තිබුන ගිරේ ආපහු ගන්න ගමන්.
“අත්තම්මෙ.ආ මේ තේ එක බොන්න”
“ආ…චූටි තේත් හැදුවද.”
“ඔව්.හැමදාම මට බනිනවනෙ බතක් හොද්දක් හදාගන්න බෑ කියලා.ආන්න මම බතුත් උයලා අල හොද්දකුත් හැදුවා”
මම කියද්දිම අත්තම්මා හැරිලා බැලුවෙ බිත්ති ඔරලෝසුව දිහා.ඔරලෝසුව දිහා බලං හිටියෙ යකෙක් දිහා බලාගෙන ඉන්නවා වගෙ.
“මොකද අනෙ ඔහොම බලාගෙන ඉන්නෙ”
“දෙයියනෙ වෙලාව”
“ඔව්.පහාමාරයි”
“මට පැයකීයක් නින්ද ගියාද.කවදාකවත් නැතුව”
“පැය දෙකක් විතර”
මම වැල් ඇදෙ ඉදගෙන තේ එක බොන්න ගත්තෙ ඈත කඩුල්ල දිහාම බලාගෙන..මගෙ හිත මටත් නොදැනීම හරිතගෙ මතකයන් අතරෙ දුවන්න පටන්ගත්තා.
ඉස්සරෝම මම එයාගෙ හැප්පිලා වැටුන විදිය එයා මගෙ දිහා බලපු විදිය.තප්පරෙන් තප්පරෙ මගෙ හිතට එකතු උනෙ සතුටක්.හිනාවක් ඇදුනෙ ඉබේමයි.
“චූටි…මොකද මෙ තනියම හිනාවෙන්නෙ”
“නෑ අත්තම්මෙ මට දෙයක් මතක් උනා”
“මොනවද”
“නෑ..මායි උදානී ගමනක් යද්දි උන දෙයක්.”
“හ්ම්…චූටි මං ඩිංගක් ඇග හෝදගෙන එන්නං.පුවක් වල දූවිලි ඇගෙ. චූටි මල් ටිකක් කඩලා පහන තියනවද.මං හෝදගෙන ඇවිත් කොළ සම්බෝලයක්වත් හදන්නං”
“මාත් හෝදගන්න ඕන අත්තම්මෙ”
“හ්ම් යං…”
අත්තම්මා ඇග හෝදගන්න කලින් මම හෝදගෙන ගෙදරට ආවේ බුදුපහන තියන්න මල් කඩන්න යන්න.පරවුන මල් සමන්පිච්ච වැල ලගට දලා පිපුන දාස්පෙතියා කඩන්න ගත්තෙ කඩුල්ලට පිටුපාලා.
ඊයෙ ගොඩක් මල් ගස් කට්ටියට පෑගිලා පොඩිවෙලා.මම මල් ගස් කීපයක් කෙලින් කරෙ දුකෙන්.මම මේ මල් පාත්ති හැදුවෙ ලමයි වගෙ ආදරෙන්.බුලත් කෙල පාරවල් හැමතැනම.මම උනන්දුවෙන් බැලුවෙ මල් ගස් උඩටත් කෙල ගහලද කියලා.
මල් කඩාගෙන හැරෙද්දි තමා දැක්කෙ කඩුල්ල ලග හිටගෙන ඉන්න වයසක මනුස්සයව.
“දුවෙ.සීයා ගෙදර ඉන්නවද”
“සීයනං ගෙදර නෑ.පොඩි ගමනක් ගිහින්”
“කීයවෙයිද එනකොට”
“කියන්න බෑ මොකක් හරි උවමනාවකටද සීයා හොයන්නෙ”
“ඔව් දරුවො.මං ආවෙ ගොඩාක් දුරක ඉදන්.මට හරි තිබහයි.වතුර ඩිංගක් දෙන්න ඇහැකිද”
“ආ…ඉන්න මම අරගෙන එන්නම්..එන්න ගෙට”
“නෑ.මං මෙහෙමම යන්නං.රෑවෙනවා.සතාසරුපයා ගැවසෙන වෙලාවනෙ.”
මම ඉක්මනින් ගෙට ආවෙ වතුර වීදුරුවක් ගිහින් දෙන්න.වීදුරුවකුත් වතුර පුරවපු ජෝගුවකුත් අරගෙන ඉක්මනි කඩුල්ල ලගට ආවෙ සීයට වතුර දෙන්න.එයා පාරෙ එහා කොනට වෙන්න ඇනතියාගෙන ඉදගෙන ඉන්නෙ හැරමිටියෙට වාරුවෙලා.
“සීයෙ ආ “
මට හැමදේම එක තප්පරේට අමතක වෙලා කඩුල්ලෙ උණබටෙ බිමට දාලා කකුල තිබ්බෙ වතුර වීදුරුවට පුරවගෙන..සීයා නැගිටලා මං ලගට එන්න ආවෙ හිනාවෙන ගමන්.ඒත් එක්කමයි හරිත එතනට ආවෙ. ඒ ඇස් රතුවෙලා. මාව අලුවෙලා යන බැල්මකින් බලාගෙන.
මම ඒ වෙද්දිත් පාර මැදට ඇවිත් සීයා මම ලගින්ම ඉදලා අත දික්කරෙ වතුර එක ගන්න.එක තප්පරයක් පරක්කු නොව්න හරිත ඒ අසරන සීයගෙ බෙල්ලෙන් අල්ලගෙන ඉස්සුවෙ දත්කූරු හපන ගමන්.
මට සිද්දවෙන කිසිම දෙයක් ගැන හිතාගන්න බැරිව ගල්ගැහුනා.හරිත මට රවාගෙන.
වයසක මනුස්සයා දගලන්නෙ බේරෙන්න.ඒ ඇග ගැහෙනවා.මට හරිත ගැන එක තප්පරේට දැනුනෙ පිලිකුලක්.මෙච්චර අධම මනුස්සයෙක්ද කියලා.ඒ වයසක අසරන මනුස්සයට මෙහෙම කරන්න ඒ මනුස්සයා කරපු වරද මොකද්ද.තිබහට වතුර ටිකක් මගෙන් ඉල්ලුව එකද..
“ඒ මගෙ වස්තුවක්.කොහොමද ඒවට අත තියන්න හිතුවෙ…ඒ මගෙ පණ යකෝ.එදත් මම කීවා.අදත් කියනවා.උබ හැප්පෙන්නෙ වැරදි කෙනා එක්ක.මේක නවත්තන්න කාලෙ හරි.මේ ගිරිගෙ අනාගතෙ.”
මගෙ කන් අඩි පැලෙන්න වගෙ හරිත කෑගැහුවෙ ඒ වයසක මනුස්සයට.තනි අතින් ඒ මනුස්සයා අල්ලගෙන මාව අනිත් අතින් අල්ලගෙන උස්සලා කඩුල්ලෙන් ඇතුලෙ තියලා රැව්වෙ මම කරපු වරද්ද මට මතක් කරලා.ඇත්තටම මට වැට සීමාවෙන් පිට යන්න එපා කීවානේද කියලා මතක් උනෙත් එතකොට.
ඒත් ඒ අහින්ස මනුස්සයා කටෙන් පෙන වගයක් දාන ගමන් ගැහෙන්න ගත්තා. මගෙ ඇස් ඉස්සරා මිනිහෙක් මරනවා තවත් බලාගෙන ඉන්න බෑ.ඒනිසාමයි මම හරිතහෙ ඇගෙ එල්ලුනෙ.
“කරුනාකරලා අතාරින්න ඔය මනුස්සයා. මොන නැහැදුන කමක්ද ඔය.මම හිතුවෙ නෑ ඔයා ඔය තරං පහත් කියලා.වතුර පොදක් ඉල්ලගෙන ආව මනුස්සයකුට සලකන්නෙ ඔහොමද ආ..ඔයා වැඩිහිටියොන්ට සලකන්න නොදන්න කෙනෙක්ද.ඇයි ඔය පව්කාර වැඩ කරන්නෙ.මගෙ ඉස්සරා කිසිම මනුස්සයෙක්ට වරදක් කරන්න මම දෙන්නෙ නෑ.ඔයා කොහොම කෙනෙක් උනත්”
හරිත මගෙ දිහාවෙ බැලුවෙ තවත් තරහින්.මම හරිතට් බනින්න බනින්න එයා කරෙ අර මනුස්සයට රිද්දන එක.
“හරිත නවත්තනවා ඕක”
මම කෑගැහුව සද්දෙ අත්තම්මටත් ඇහෙන්න ඇති.හරිත මම ලගටම ඇවිත් මගෙ මූණට එබිලා බිම්බෙ මට ගහන්න බැරි තරහට වෙන්න ඇති.එයා කොච්චර දක්ශ යකදුරෙක් උනත් වැඩක් නෑ.මනුස්සකමක් නැත්නං
“ඔයා ඔහොම පව්කාරයෙක් කියලා දන්නවනං මං එකතැන කුනුවෙලා මැරුනත් ඔයාගෙන් උදව් අරන් සනීප වෙන්නෙ නෑ.අනේ දෙයියන්ගෙ නාමෙන් ඔය මනුස්සයා අතාරිනවා.එයා ආවෙ අපෙ ගෙදර.ඔයා කව්ද අපෙ.ඔයා මාව සනීප කරා කියලා ඔයාට අයිතියක් නෑ අපෙ ගෙදරට එන අයට වද දෙන්න.ඇයි ඉරිසියයිද අපෙ සීයව හොයාගෙන ආව එකට.ආ…”
මම හරිත ඉස්සරා ඒ ඇස් දිහාම බලාගෙන කියෙව්වෙ වෙව්ල වෙව්ලා.මට ඕන උනෙ කොහොම හරි ඒ අසරනයා බේරගන්න.කටට එන හැමදේම කීවෙ තරහින්
“මාව ආපහු ලෙඩකරත් කමක් නෑ.මට ඔයාගෙ ඔය පව්කාර අත්වලින් බෙහෙත් කරනත් එපා.මට ඔයාගෙ වෙදකම් ඕනෙත් නෑ.මම මැරිලම ගියදෙන්.”
මම හරිතගෙ අතින් වයසක කෙනා අතෑරවන්න ලං වෙද්දි හරිත මගෙ මූන ලගටම ලංවෙලා ගෙරෙව්වෙ සතෙක් වගෙ.
“මාව තවත් කේන්ති නොගහා යනවා ගෙට.මෝඩ වැඩ කරනවා මදිවට කටත් කියවනවා.තමුන් දන්නවද මේ කව්ද කියලා ආ….මහවට කෑගහන්නෙ.දෙපාරක් තමුන්ව අබ්බගාතයෙක් කරෙ මේ සතයි…මූට ඕන පලිගන්න.පලිගැනීම සම්පූර්ණ කරගන්න.අන්තිම වතාවට කියන්නෙ කටවහගෙන යනවා ගෙට.මේ කඩුල්ලෙන් එක අඩියක් මගෙ අවසරයක් නැතුව එලියට ආවොත් මම මොනවා කරයිද කියලා හිතාගන්නවත් බැරිවෙයි.”
මාව වෙව්ලලා ගියෙ ඒ වචන වලට වඩා කතාකරපු විදියට.මේ තරං කේන්තියක් කවදාකවත් මම දැකලා නෑ.එහෙනං මේ නාකි මනුස්සයද අපෙ සීයා කීව ඒ කෙනා.සීයව පරද්දන්න හදන කට්ටඩියා.මාව ලෙඩ කරන නපුරා.මම පස්සෙන් පස්සට ආවෙ බයෙන්.
“මම පාන්දර මෙතනට එනවා.ඇවිත් මාව මුණගැහෙන්න”
හරිත යන්න ගියෙ බෙල්ලෙන් අල්ලගෙන හිටි ඒ මනුස්සයවත් ඇදගෙන.
“අනෙ දරුවො…මාව බේරගන්න.මේ කියන ඒවා ඇත්ත නෙවෙ.මෙ දරුවා ඉන්නෙ වැරදි වැටහීමක.”
ඒ දුබල හඩට මගෙ පපුව හරහා කිණිසි පාරක් වගෙ දැනුනෙ.අසරන ඇස් මගෙ සීයගෙ වගෙ.එයා මාව මරන්න ආවත් මේ පව්කාර වැඩේ හරිත අතින් මම ඉස්සරහා සිද්ද වෙන්න නරකයි.
“හරිත….අනෙ මං වෙනුවෙන්.අනෙ මං වෙනුවෙන්වත් ඔය මනුස්සයා අතාරින්න”
මම වැදගෙන කීවෙ අඩ අඩා..හරිත ගැස්සිලා යනවා මට දැනුනා.ඒ එක්කම ආපහු ඒ මූණදිහා බලාගෙන අමුතු විදියට හරිත හිනා උනෙ මං දිහාත් බලලා මෙච්චර වෙලා බිම දිග ඇදන් ගිය ඒ වයසක මනුස්සහව හිටෙව්වෙ පොළේ ගහන්නා වගෙ වේගෙකින්.
“මේ අන්තිම පාර.උබට මතකනෙ මම කියපු දේවල් ආ…කා එක්කද හැප්පෙන්නෙ කියලා මතකෙ තියාගනින්.ඒ කෙස්ගහකට හරි මොනාහරි උනොත් උබට සිද්ද වෙනවා මාව ඉවරයක් කරන්න.ඒක කරගන්න බැරි උනොත් හිතාගනින් ගිණිකබල ඔළුව උඩ තියාගත්‍තා කියලා.විලක්කු දාහකින් පිච්චෙනවට වඩා වේදනාවක් විදින්න ලෑස්ති වෙයං.”
ඇහෙන නෑහෙන ගානට කියපු හරිත මටත් රවලා යන්න හැරුනෙ වයසක සීයා කොරගහගහ ඇවිදින දිහා රවාගෙන බලාගෙන ඉදලා.
〰️〰️〰️〰️〰️〰️විරාමයක්〰️〰️〰️〰️〰️〰️〰️